පින්න ගලන උදැසනින්
හිරු ඇතිරූ එළිපත මත
නොමේරු මගේ
දෙපා තබා
සොයා ගියා මගේ ලෝකය
හිසට උඩින් පියාසලන
සිඟිති කුරුළු රෑන් පස්සේ
හති වැටි වැටි
දිව්වා මම
සඳ අහසට නැඟ එන තෙක්
හති වැටි වැටි
දිව්වා මම
ගතවූ මගේ ඉගිලී ගිය
ළමා වියේ සුවඳ සොයා
සඳ මා හා උරණ වෙලා
බෑ කිව්වා
මට දෙන්නට
රන්තැටියට කිරියි පැණියි
වැඩිහිටියන් අඬගැසුවා
තරවටු කර එන්ට කියා
පෙන්වන්නට
ලෝකය මට
බැහැ එන්නට මිනිස්සුනේ
දුෂිත වූ
නුඹේ ලොවට
අත් පය උස්මහත් උනත්
පුංචියි මගේ
හිත තාමත්
පෙනෙන්නේ මට නුඹලා සැම
විසදුම් නැති ප්‍රශ්න සමඟ
දඟලන පණුවන් විලසින
දරාගන්න නම් බැහැ මට
නුඹලාගේ බර ප්‍රශ්න සියලු
හිතන්න බැහැ ඔයතරමට
විසඳුම් නැති
ප්‍රශ්න ගැනම...
ඉගිලෙන්නට
ඉඩදෙනු මට
පුංචි කුරුල්ලෙක් විලසට
හුරතල් වූ
මගේ හිතට
දෙන්න එපා
ලොකුවෙන්නට
No comments:
Post a Comment